ගොඩවදින්නෝ

Thursday, April 27, 2017

මීතොටමුල්ලේ හෘද සාක්ෂිය - නීතීඥ නුවන් බෝපගේගේ අදහස්

මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසුව කීර්ති සහෝදරයාගේ පවුලේ උදවියගේ අවසන් කටයුතුවලින් පසුව අපි කිහිපදෙනෙකු එක්ව දැන් කුමක් කරන්නේදැයි කෙටි සාකච්ඡාවක යෙදුණෙමු. ප්‍රථමයෙන් ශෝකය, විරෝධය හා පිළිකුල ප්‍රකාශ කළයුතුයැයි අපට සිතුණි. ඒ අනුව ඉටිපන්දම් දැල්වීමේ වැඩසටහනක් සංවිධානය කරන්නට තීරණය කළෙමු. එ් අනුව සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී මිතුරන් කිහිපදෙනෙක්ද සමඟ අපි ඉටිපන්දම් විරෝධය කෙටි කාලයකින් සැලසුම් කළෙමු. නිදහස් චතුරස්‍රයට එක්වුණෙමු.

ඉටිපන්දම් විරෝධයෙන් පසුව අපට ඕනෑ වුනේ මේ ඛේදවාචකය ගැන හැඟීම්බර වීමෙන් එහා ගොස් බුද්ධිමත් ලෙස දැකිය යුතු බවයි. කුණු ගැන ඉදිරි කතාවලට පෙර මීතොටමුල්ලේ සිදුවුණේ කුමක්දැයි කතා කරන්නට අපට ඕනෑ විය.

පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සංවිධානයෙන් ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංගමයේ සාමාජිකයන් විසින් මීතොටමුල්ලේ සිදුවීම පිළිබඳ ජනතා වාර්තාවක් සකස් කරන්නට තීරණය විය. එම වාර්තාව සඳහා ප්‍රථමයෙන් කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ මහජන සාක්ෂි විමසීම මහජන පුස්තකාලයේදී පසුගිය 26 වැනිදා සිදුකෙරිණි. එම අවස්ථාවට එක්වෙමින් නීතීඥ නුවන් බෝපගේ දැක්වූ අදහස්ය මේ.


නුවන් බෝපගේ


‘2011 ඉඳන් කොළොන්නාව කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පටන්ගත්තේ ජනතාව කුණුකන්දෙන් බේරාගන්නට. එදා අපට සටනක් කරන්න අවශ්‍ය පසුබිම ඉබේම නිර්මාණය කළා. සටන් කිරීමේ අවශ්‍යතාවය ඉබේම ආවා. මීතොටමුල්ල කියන්නේ කොළඹට ආසන්න වැඩිම ජනගහනයක් තියෙන ප්‍රදේශය. කොළඹ වරාය, රජයේ කර්මාන්තශාලාව, ඛනිජතෙල් නීතිගත සංස්ථාව වගේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියෙන පසුබිමක ඒ කර්මාන්තශාලාවල සහ රජයේ ආයතනවල ශ්‍රමය වගුරුවන බොහෝ පිරිසක් ඇවිල්ලා පදිංචිවුනේ කොළොන්නාවේ. හැබැයි මෙතැන ඉන්නේ කර්මාන්ත හිමියෝ නෙවෙයි. කම්කරුවෝ. මේ ප්‍රදේශයේ ඉන්නේ පාලකයෝ නෙවෙයි. පීඩිතයෝ.


අපි මේ කතාකරන්නේ මහජන පුස්තකාලයේ ඉඳලා. මෙතැන එහාපැත්තේ ගොඩනැඟිලි හැදෙන ප්‍රමාණය බලන්න. මේ පැත්තේ ලස්සන බලන්න. ටිකක් එහාට ගියාම මොකටද හැදෙන්නේ කියලා තේරෙන්නේ නැති නෙළුම් කුළුණක් හැදෙනවා. එතකොට ඒ කොළඹ, අපි දකින කොළඹ. අපි දකින කොළඹ අපටත් හිතෙනවා කොළඹ ලස්සනයි. ගෝඨාභය රාජපක්ෂ මේ පදික වේදිකාවක් ගැන සලකපු හැටි ගැන හිතන්න. ඒ සැලකිල්ලෙන් දශමයක් මේ කොළොන්නාවේ ජනතා ගැන දක්වනවාද. ඒ නොසැලකිල්ල ගැන සමාජයක් විදියට ප්‍රශ්ණ කළාද. අපි ඒ ප්‍රශ්ණය දිගටම ඇහුවා.


අපි ඒ ප්‍රශ්ණය ඇහුවා විතරක් නෙවෙයි. අපි ඒක පිටිපස්සේ තියෙන පංති ප්‍රශ්ණය දැක්කා. අපි මේ නායගොස් සිදුවුණ ඝාතනය දකින්නේ මතුපිටින් විතරයි. ඒක යට තියෙන ඇත්ත පන්ති ප්‍රශ්ණය අපි දැක්කා.


අපි පාර්ලිමේන්තුව ළඟ බලමු. එතැන මේදය දහනය කරගන්නට මිනිස්සුන්ට දුවන්න කොච්චර පහසුකම් තියෙනවාද. එතැන ඉඳන් කිලෝමීටරයක්වත් නෑ මීතොටමුල්ලට. හැබැයි මීතොටමුල්ලේ මිනිස්සුන්ට තිබුණු ප්‍රශ්ණය මේදය දහනය කරගැනීම නෙවෙයි. ඔවුන්ට තිබුණු ප්‍රශ්ණය හුස්ම ගැනීම. රජයෙන් නිකන් ලැබෙන එකම දෙයනේ හුස්ම ගැනීම. අනෙක් හැමදේටම බදු ගෙවනවා. බදු නොගන්න එකම දේ වෙනුවෙන් තමයි අපි අරගල කළේ.


පාර්ලිමේන්තුව වටේ දුවන ජනතා ගැන හිතපු ගෝඨාභයලා සහ පාඨලී චම්පික රණවකලාට අපි හුස්ම ගැනීමේ ප්‍රශ්ණය කියද්දී ඒක බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වුණා. ඔවුන්ට අපව ඇහුණේ නැහැ. අපේ හඬ ඔවුන්ට අදාල නැතිවුණා.


ජනාධිපතිවරයාගේ දුව චතුරිකා. මාලා මහත්මියගේ දුවත් චතුරිකා. ඔහු ජනාධිපති තමයි. හැබැයි දුව නැතිවුණොත් මාලා මහත්මියට ඇතිවන දුකයි ජනාධි්පතිවරයාටයි ඇතිවන දුකේ වෙනසක් තියෙනවාද. මේ ලෝකයේ ඕනම මිනිහෙක්ට දරුවා නැතිවුනාම ඇතිවෙන්නේ සමාන දුකක්. හැබැයි මාලාගේ දුක මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට දැනෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට හෝ අකිල විරාජ් කාරියවසම්ට දක්වන ආදරයට කීර්තිරත්න මහත්තයා තමුන්ගේ බිරිඳට දක්වන ආදරයට දෙවැනි වෙන්නේ නැහැ. හැබැයි කීර්තිගේ වේදනාව ගැන රනිල් වික්‍රමසිංහ කම්පනය වෙන්නේ නැහැ. කීර්ති සාමාන්‍ය මිනිහෙක්.


මේ ප්‍රශ්ණය එන්නේ දූෂණය සහ වංචාව නිසා. කොලඹ නගර සභාව තමයි ලංකාවේ වැඩිම බදු එකතු කරගන්න නගර සභාව. ඒ වගේම පැරණිම නගර සභාව. ඔවුන් අවුරුදු ගාණක් තිස්සේ කුණු ගැන ප්‍රතිපත්තියක් හදාගෙන නැත්තේ ඇයි. ඔවුන්ට බදුවලට ප්‍රතිපත්තියක් තියෙනවා. බදු ගෙව්වේ නැත්නම් කරන දේ ඔවුන් දන්නවා. හැබැයි කුණුවලට කොළඹ නගර සභාවට ප්‍රතිපත්තියක් නෑ. ඒකට හේතු අපි කියන්න ඕන නෑ. කොළඹ නාගරික මන්ත්‍රී එච්. ඒ. සංඝදාස මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දානවා. FCSR/ 159/ 2015 කියලා නඩුවක් දානවා.


මේකේ ලිඛිත කරුණු සහිතව සාක්ෂි තියෙනවා වංචාව ගැන. කෙයාක්ලීන් කියන ආයතනයට දිස්ත්‍රික් දෙක කලාපයට කුණු ටෙන්ඩරයක් දෙන්නේ මිලියන 848කට. හැබැයි තක්සේරු වටිනාකම මිලියන 663ක්. ඇස්තමේන්තු වටිනාකමට වඩා මිලියන දෙසීයක් වැඩිපුර තමයි ගෙවලා තියෙන්නේ. අබාන්ස් කියන ආයතනයට දීලා තියෙන්නෙත් මිලියන දෙසීයක් වැඩියෙන්. දිස්ත්‍රික් පහ කියන කලාපය සඳහාත් කෙයාක්ලීන් කියන කම්පැණියට දීලා තියෙන්නේ මිලියන තුන්සීයක් වැඩිපුර. සමස්ථය ගත්තොත් මිලියන අටසියක පමණ ප්‍රමාණයක් ඇස්තමේන්තු වටිනාකමට වඩා දීලා තියෙනවා.


ඒකේ වෙනසක් තියෙනවාද. එදා ගෝඨාභය රාජපක්ෂ කරපු කාර්යය අද කරන්නේ චම්පික රණවක ඇමතිවරයා. එදා මහින්ද රාජපක්ෂ කරපු කර්තව්‍යය කරපු දේ අද කරන්නේ මෛත්‍රීපාල සිරිසේන. ඒ මුහුණවල් වෙනස් වුණාට ප්‍රතිපත්තිය වෙනස්වෙලා නැහැ.


හැබැයි මේ කුණුකන්ද සම්බන්ධ අර්බුදය අපේ ප්‍රශ්ණයක් නිසා ඒක අද අවජාතකයි. කවුරුත් වගකිම ගන්නෑ. කලින් හිටපු අයට බණිනවා. හැබැයි අපි උදාහරණයක් ගමු පෝට් සිටි ව්‍යාපෘතිය. ඒක පටන්ගත්තේ කවුද කියන එක වැදගත් නෑ. දැන් පියවරුන් දාහක් ඉන්නවා. සයිටම් ප්‍රශ්ණය ගමු. මහින්ද රාජපක්ෂ පටන්ගත්තා කියලා රනිල් වික්‍රමසිංහ කියනවාද මට වගකීමක් නෑ කියලා. එහෙම නෑ. ඔවුන් හැකි හැමදේම කරනවා සයිටම් වෙනුවෙන්. හැබැයි විවිධ ඒවා සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස්. වගකීම ගන්න කෙනෙක් නෑ. ඒකයි යථාර්තය.


කීර්ති අයියාගේ මිනිපිරියගේ පෙට්ටියට අත තිබ්බාම  මට ඇයගෙන් සමාව ගන්න හිතුණා. අපි කරපු අරගලය බොළඳ වැඩියි කියලා හිතුණා. මට අහන්න තිබුණු එකම ප්‍රශ්ණය, බීරි අලින්ට වීණා වයන්නේ නැතිව මේ ගැන හඬක් නැඟුවානම් අද දුව ජීවතුන් අතර ඉන්නවා නේද කියලා. එහෙම හඬවල් නඟපු අය ඉන්නවා. ඔබ හිතන්න සයනයිඩ් කරලක් බෙල්ලේ බැඳගෙන මරාගෙන මැරෙන්න බයනැති මිනිස්සු නිර්මාණය වුණේ ඇයි? මේ වගේ සිදුවීම්වලින් තමයි. හෙට්ටි වීදියේ තමුන්ගේ දරුවාව කෑලි කෑලිවලට කපලා මරද්දී බඩේ බෝම්බ බැඳගෙන මරාගෙන මැරෙන එක වරදක්ද. එදා කවුරුහරි කිරිබත් කෑවානම් සමාව ගන්න ඕනේ නැද්ද. ප්‍රභාකරන්ලා අවුරුදු තිහක් සටන්කළා. අපි අවුරුදු හයක් සටන්කළා. එදා වීනා වැයීම ප්‍රමාණවත් නෑ කියලා ඔවුන් හිතුවා. අපට එහෙම කරන්න බැරිවුනා. අපි එහෙම කළානම් සමහරවිට අපේ දරුවන්ගේ ජීවිත බේරාගන්න තිබුණා. ඒ නිසා මට හිතෙන්නේ අපට එක්සත් වෙලා සටන්කිරීම හැර විකල්පයක් නෑ කියලා.


අපි අවුරුදු හයක් සටන්කලේ නැත්නම්  අද මේ විදියට හතළිහක් මැරෙනවා වෙනුවට ගමේ ඉන්න පන් හයසීයක් මැරිලා යන්න තිබුණා. අපි සටන් කරලා, සමාජ අවදානය ගෙනාවා. මාස ගණන් කුණු ගේන එක නවත්වගෙන ඉන්න පුළුවන් වුණා. කුණුවලට ඉඩගන්න කියලා වහල දැම්ම ඉස්කෝලේ විවෘත කරවාගන්න අපට පුලුවන් වුණා. කුණුකන්ද මීටත් වඩා පුළුල් වෙනවා අපි හිටියේ නැත්තං. ගන්න පුලුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගත්තාට පස්සේයි හතළිහක් මැරුණේ. අපි සටන් නොකළානම් මරණ තව වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා අපට තේරෙන්නේ තවදුරටත් හුදෙකලා සටන්වලින් විසඳුම් හොයන්න බෑ කියලා. සටන් කිරීම හැර විකල්පයක් නෑ. අරගලයෙන් තොර විමුක්තියක් නෑ.


ඔබට හිතෙන්න පුළුවන් අපි කරපු අරගලය වැඩක් නෑ, වෙන්න තියෙන දේ වෙලා ඉවරයි කියලා. හැබැයි ඔබ හිතන්න. හෙට මේ ඉරණම අත්වෙන්නේ මුතුරාජවෙලටද, ජාඇලටද, දොම්පේද, පිළියන්දලද ඒ මිනිස්සු අපේ සටනෙන් පෝෂණය වෙලා. ඒ මිනිස්සු පාරවල් හරස් කරනවා. අපේ සටන මරණයෙන් අවසන් වුණාට මේ සිදුවීමේ කම්පනය සමාජයට දැනෙනවා. අද මේ සටනින් පන්නරය ලබන කෙනෙක් තව පරම්පරාවක් හරි ගිහිල්ලා මේ සමාජ ක්‍රමය වෙනස් කරාවි. මං කියන්නේ අපි අතරේ හැම දේශපාලන ව්‍යාපාරයකම අය හිටියා. මුස්ලිම්, සිංහල, දෙමළ හැමෝම හිටියා. පීඩිතයන්ට බෙදෙන්න ඉඩ ගොඩක් තියෙනවා. පාට පක්ෂ කුල ජාති ආගම් විදියට.

ඒ සියළු බෙදීම් මැද කීර්තිලා, හේමපාලලා, ඉමිටියාස්ලා කේන්ද්‍රීය ප්‍රශ්ණය වෙනුවෙන් සටන්කළා. අපි මැරුණාට පස්සේ ආගමික නායකයන් ඇවිල්ලා දේශණ කළා. ඒ අය මැරුණාට පස්සේ ආවත් ජීවිත තියෙද්දී ජාති ආගම් ලෙස නොබෙදී මිනිස්සු හිටියා.


මේ ලෝකේ කොහේහරි කෙළවරක ආයේ මේ වගේ ප්‍රශ්ණයක් වෙනවානම් අපේ පන්නරය ඔවුන් ගනියි. ඇත්ත. අපේ මිනිස්සුන්ගේ අහිමිවීමේ වේදනාව අපට දැනෙනවා. හැබැයි ඒ වේදනාව තුළින් තවත් මේ වගේ සිදුවීම් වලට විරුද්ධව සටන්කරන මිනිස්සු වෙනුවෙන් පන්නරය ලැබෙනවානම් අර මියගිය මිනිසුන්ගේ ජීවිතවලට සාධාරණයක් ඉටුවේවි.


ඔබ හිතාවි ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන ආයතන තුන මේ සමාජය යහපත් තැනක් කරනවා කියලා. මේ ප්‍රශ්ණවලට ඒ ආයතනවලින් යුක්තිය හොයන්න කියලා. හැබැයි ඒක එහෙම නෙවෙයි.

විධායකය මොකද කළේ? ජනාධිපතිවරයා කවදාවත් මේකට මැදිහත් වුණේ නැහැ. ජනාධිපති අතිරේක ලේකම්වරයෙක්ට ගිහින් ලියුම දුන්නාම ඔහු කිව්වේ ලොක්කා මේකට අතදාන්න කැමති නෑ, ගාගන්න වෙන නිසා කිව්වා. රාජ්‍ය සේවය ගන්න දෙයක් නෑ. ඒ අතරේ අල්ලස් ගන්න අය හිටියා. කුණුගොඩ ජීවිකාව කරගත්ත අය හිටියා.


විධායකයට තමයි ඇමති අයිති වෙන්නෙත්. හැබැයි පාඨලී චම්පික රණවක කියන්නේ විහිළුවක්. අපි ළඟ හඬ සාක්ෂි ඇති. ඔහු එක්ක සාකච්ඡාවක් තියද්දී මට හිතුනේ ඔහු උමතුරෝගියෙක් කියලා. පැය කාලයක් තිස්සේ ඔහු ඔහුගේ ඉතිහාසය ගැන කීවා. ඉන්පස්සේ විනාඩි දහයක් කතාකරලා කීවේ එක්කෙනෙක් රජය අස්ථාවර කරන්න උද්ඝෝෂණය කරන්න ලෑස්තිවෙන්න එපා කියලා.


ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මරික්කාර් කියන මනුස්සයා කුණුකන්ද විකුණලා ගියේ. හැබැයි අපට පහරදුන්න කොළොන්නාව නගරාධිපති එක්ක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. පහරදුන්නා පසු දිනයේ. ඉතින් ව්‍යවස්ථාදායකය අපට පිහිටවුනේ නැහැ.


අධිකරණය ගත්තාම අපි නඩු රැසක් දැම්මා. ඒ කිසිවකින් අපි වෙනුවෙන් ඉඩ ලැබුණේ නැහැ. කුනු දමන්න අවසරය ගත්තේත් අධිකරණය හරහා. ඒ අනුව අපව ආරක්ෂා කරන්න කියලා තියෙන කුළුණු තුන අපව පීඩාවට පත්කළා. මේ විනාශ වෙච්ච කුණුවෙච්ච සමාජයේ කුණු ගතිය ආරක්ෂා කරන ආයතන බවට මේ කුළුණු තුන පත්වෙලා.

ඒ නිසා මං පැහැදිළිව කියන්නේ ඔබ යහපත් සමාජයක් ගැන හිතනවානම්, මේ කුළුනු තුනෙන් තොර වෙනත් ක්‍රමයක් ගැන කල්පනා කරන්න වේවි. විප්ලවයකින් තොර විමුක්තියක් නෑ.‘

8 comments:

  1. විප්ලවය කොහොම වෙතත් සීරියස් කතාව

    ReplyDelete
  2. විප්ලවය නම් මම දන්නේ නෑ බං. සටනකින් තොර ජයග්‍රහණයක් නම් නෑ. පුලුවන් නම් මට මෙන්න මේකටත් උපදෙසක් දීපන් උඩුවො. අපේ ගෙවල්වලට එහා පැත්තේ එකා දවල් රෑ නැතුව යකඩ කපනවා. ජංගම දුරකථන සමාගම්වල ප්‍රචාරක පූවරු හදන්න. උදේ පටන් ගත්තාම එලි වෙනකම්. පාරේ දිගටම වාහන නවත්තලා. හදිස්සියකට පාරේ යන්න බෑ. කරදරයක් නෙමෙයි මල කරදරයක් අපිට මේක. මේකට කරන්න පුලුවන් දෙයක් ගැන උපදෙසක් දීපන්.

    ReplyDelete
    Replies
    1. ඕක හෙන අවුල් මචං... ගොඩක් එවුං ඔය වගේ ඝෝෂාකාරී ව්‍යාපාර මිනිස්සු ගොඩක් ඉන්න තැංවල දාගන්නව. එපා කියන්නත් බෑ...
      අපට නීතිමය පියවර ගන්න පුළුවන් පරිසර දූසණයක් වුණොත්නෙ...
      පොලිසියෙ ඇන්ට්‍රියක් දාල බලන්න.
      පොලීසියෙ නිලධාරීන්ගෙ ආකල්ප අනුව තමයි වෙන දෙයක් තීරණය වෙන්නෙ

      Delete
  3. අධිකරණය,ව්‍යවස්ථාදායකය,විධායකය එකතු වෙලා මේ රටේ මිනිස්සුන්ට විහිළු කරන්න අරන් ගොඩක් කල්.මේ ප්‍රශ්නයෙදී විතරක් නෙමේ ඕනම ප්‍රශ්නයකදී සමාජය නිද්‍රශිලි නොවී මිනිස්සු එකතුවීම තුලින් තමයි ජනතා ජයග්‍රහණ ලබන්න පුළුවන් වෙන්නේ.එහෙම සටන් කරන මිනිසුන්ට මිතොටමුල්ලේ අරගලය හොඳ පන්නරයක්.

    ReplyDelete
  4. අපි තනි පුද්ගලයො විදිහටත් මේ වගකීම බාර ගන්න ඕන. අපිටම පුලුවන් කුණු වර්ග කරල ගෙදරින්ම මේ සටනට සහයෝගයක් දෙන්න. මම හිතන්නෙ මේ ප්‍රශ්නෙට දීර්ග කාලීන විසදුමට ඕන කරන පළවෙනි පියවර වෙන්න ඕන ඒකයි. ගොඩක් අයට මේක දැන් අමතක වෙලා ගිහින්.

    ReplyDelete
    Replies
    1. කුණු කළමණාකරණය තමයි අපේ වගකීම

      Delete

Search This Blog