Wednesday, June 24, 2015

ගයන්ත ඇමතිතුමෝ කයිවාරු නැතිව බයික් එක ගහගනින් @$#^%$


මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරුපැදි ලබාදෙන බවට පසුගිය දිනෙක පුවතක් පළ වෙද්දී වඩාත් සතුටට පත්වූයේ තරුණ ජනමාධ්‍යවේදීන්ය. ඒ අපගේ වෘත්තියේ ස්වභාවය නිසාම යතුරුපැදියක් තිබීම පහසුවක් නමුත් යතුරුපැදියක් මිලදී ගැනීමට තැන්පත් වත්කමක් බොහෝ තරුණ මාධ්‍යෙව්දීන් සතුව නොතිබීම නිසාය. සහන මිලට යතුරුපැදි ලබාදෙන පුවත කණ වැකුණු විගස අප සමඟ සිටින මිතුරු මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම මුදල් එකතු කරන්නට පටන් ගත්හ. සහන මිලට නම් ආසන්න වශයෙන් රුපියල් පනස් දහසක පමණ ගෙවන්නට සිදුවනු ඇත. ඉතා අමාරුවෙන් රුපියල් පනස් දහසක් එකතු කරගැනීමට අපි උත්සාහ කලෙමු.
එහෙත් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් යතුරුපැදි ලබාදීම සඳහා තිබිය යුතු කොන්දේසි එළිදැක්වූ පසු තරුණ ජනමාධ්‍යවේදීන්ට සිදුවූයේ මෝටර්සයිකල් බලාපොරොත්තුව අත්හැර දමන්නටය. ඒ ජනමාධ්‍යවේදීන්ට නොමිලේ බයික් දෙන්නාක් මෙන් සද්දය දමා ආණ්ඩුව ලබා දුන්නේ පුස්සක් වන නිසාය. මොටර් සයිකල් ලබා ගන්නට අයදුම්පත් ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටි බොහෝ මාධ්‍යෙව්දීන් අයදුම්පත් යොමු කළේ නැත. අවසාන දිනය වූ 22දා තෙක් අපට සිදුවූයේ නිකම් බලා සිටින්නටය. දැන් අවසාන දිනය පසුවී ඇත. 

මෝටර් සයිකල් අවශ්‍ය නමුත් මිලෙහි සහනයක් නැති නිසා බොහෝ දෙනෙක්ට මෝටර් සයිකල් බලාපොරොත්තුව අත්හරින්නට සිදුවිය.


මොටර් සයිකල් ලබාගැනීම සඳහා මුලින්ම සම්පූර්ණ කළ යුතු වූයේ වසර පහක සේවා කාලයකි. මාධ්‍ය ආයතන වල විශාල වැඩ කොටසක් කරන තරුණ මාධ්‍යවේදීන් බොහොමයකට බලාපොරොත්තු අත්හරින්නට වූයේ ඒ කොන්දේසිය නිසාය. ඇතැමුන්ගේ සේවා කාලය වසර තුනහතරක් විය හැකිය. වසර පහක සීමාවක් දමන්නට ඇත්තේ මෝටර් සයිකල් ලබාගන්නා අය ස්ථාවරව මේ වෘත්තියේ නියැලෙන අය බවට සහතිකයක් ලබාගැනීමට විය යුතුය. එහෙත් ඒ සහතිකය තිබෙන නමුත් වසර පහ සම්පූර්ණ නොකර සහන මිලට මෝටර් සයිකල් ලැබිය යුතු දක්ෂ තරුණ මාධ්‍යෙව්දීන්ට අවස්ථාව අහිමි විය.

තීරුබදු රහිතව මෝටර් සයිකලයේ වටිනාකම එකවර ගෙවීමට සිදුවීම අනෙක් හෙණයයි. අප විසින් සොයා බැලූ විට දැනගන්නට ලැබුණු පරිදි තෝරාගන්නට තිබෙන මෝටර් සයිකල් දෙකම ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුතු ඉන්දීය මෝටර් සයිකල්ය. ඉන්දීය මෝටර් සයිකල් වලට ලංකාවේ අයකරන බද්ද සාපේක්ෂව අඩු වන අතර තීරු බදු ඉවත් කළද මෝටර සයිකලය ලබාගන්නේ නම් අපට ලක්ෂයකට වැඩි මිලක් ගෙවීමට සිදුවේ. ඊට අමතරව ලියාපදිංචි වියදම්, රක්ෂණ ගාස්තු ආදියද දැරිය යුත්තේ අප විසින් වන නිසා දරන්නට බැරි වියදමක් අපටම දැරීමට සිදුවේ.

මාධ්‍යෙව්දීන් විශාල වැටුප් ලබන බව බාහිර සමාජය සිතුවද අප ලබන්නේ කම්කරු වැටුපට ආසන්න අඩු වැටුපකි. විශේෂයෙන් තරුණ මාධ්‍යෙව්දීන් ලබන්නේ මාසය ගෙවාගන්නට අමාරු තරමේ දිළිඳු වැටුපකි. ලක්ෂයක් ගෙවා බයික් ගන්නට අපට කොහොමත් බැරිය. එසේ හැකියාවක් තිබේනම් ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් හිඟා කන්නේ නැත. එසේ තිබේනම් දැනටමත් මෝටර් සයිකලයක් අරගෙනය. අවසානය යහපාලන ආණ්ඩුවේ බයික් එකද ලැබෙන්නේ මාධ්‍ය වෘත්තියට අමතරව අනෙක් හැම දෙයක්ම කරන වැඩි වැටුප් තිබෙන (දැනටමත් වාහන ඇති) මාධ්‍ය වෘත්තිකයන්ට ය. තරුණ මාධ්‍යෙව්දියෙක් නම් දෙමාපියන්ට මුදල් ඇති තැන්පත් ධනයක් තිබෙන මාධ්‍යෙව්දීන්ටය. අපට සැමදා සිදුවන්නේ බස්වල කට්ට කා මාධ්‍ය වෘත්තීය කරන්නටය.

ආණ්ඩුව මෝටර් සයිකල් වල තීරු බද්ද පමණක් ගෙවීමේ කිසිදු ප්‍රශ්ණයක් නැත එහෙත් ගැටලුව වන්නේ මාධ්‍යෙව්දීන්ට නොමිලේ බයික් දෙන්නාක් මෙන් ආණ්ඩුව ගසන පම්පෝරියයි. අනෙක් අතට අපට එක්වර ගෙවන්නට සිදුවන විශාල මුදලයි. අඩුම තරමේ එය කොටස් වශයෙන් ගෙවන්නට වත් අනස්ථාවක් දෙන්නේ නම්...

ඉදිරියේ ආණ්ඩුව විසින් නිවාස ව්‍යාපෘතියක්ද ආරම්භ කරන බව කියා ඇත. මේ නිවාසද අවසානයේ අපට නොව මාධ්‍ය ලෝකයේ පැරණි අයියලා ටිකටම නිවාස හිමවනු ඇත. බැංකු ණයක් වත් ගත නොහැකිව හිඟන වැටුපක් ලබන අපේ මාධ්‍යෙව්දී පරපුරට  මාස හයක ගෙවල් කුලී කී මනී ලෙස අය නොකරන තැනකින් රුපියල් දහදාහේ කුලී නිවාසයක් සොයන්නට සිදුවනු ඇත.   

ඒ මදිවාට ආණ්ඩුවෙන් මාර සැලකිලි නේදැයි සමාජයෙන් අසන්නට සිදුවනු ඇත. මාර වෘත්තියක් නේදැයි රෙද්ද පල්ලෙන් බේරෙන වංසය කබල් ගාන්නට සිදුවනු ඇත. මාධ්‍යෙව්දීන්ගේ වෘත්තිය වෙනුවෙන් හඬගාන සංවිධාන වලට මේ තරුණ ප්‍රශ්ණ අදාල නැත.

ආණ්ඩුවට අප කියන්නේ දෙනවානම් දෙන්න. නැත්නම් ඉඩ තිබෙන තැනක ගසාගන්න කියාය.

1 comment:

  1. උන් ලියන තරම් ඇත්ත වෙන්නෑ වගේ ආණ්ඩුව කියන තරම් කරන්නෙත් නෑ

    ReplyDelete